Monday, January 27, 2014

සීතලයි උඳුවප්...

රිදෙනවා තමයි මට
නුඹ හිතට එන හැම වාරෙම
මගේ හිත තාමත්
පෑගෙනව නුඹේ මතකයට...

උඳුවප් සීතලට
නුඹෙ උණුසුමේ ගුලි වෙන්න
ඇඟිලි ගැන ගැන හිටිය මට
දැනෙනවා වගෙ දැනුත්
නුඹේ ඒ සමුගැන්ම..

ගොලු වුනේ මගෙ මුවයි
තනි වුනේ මගෙ හිතයි
නුඹට නැහැ කිසි ගානක්
එපා බොරු දුක් රැඟුම්...

උඳුවප් මහේ සීතලට
ගුලි වෙච්ච මගෙ හිතට
තවම නෑ උණුසුමක්
කොහෙද මේ වසන්තය
ආවෙ නෑ තාමත්,

නාවත් කමක් නෑ
සුපුරුදුයි දැන් සීතල...



http://kalusudu-nimthera.blogspot.com/2013/12/blog-post.html
මේ post එක නිසා ලියැවුනු අතර මාතෘකාව සොරකම් කිරීම පිලිබඳ කනගාටුව ප්‍රකාශ කරමි! :)


Saturday, January 25, 2014

නුඹ මගේ... ♥

සිතට සිසිලක් ඉසින
හදට සුවයක් සදන
නෙත සොයන,සිත සොයන
රුව නුඹේ,රුව නුඹේ...

සිහි නැගෙන ඇසිල්ලෙන්
ස්නේහයෙන් මත් කරන
සදහටම සිතේ ඇඳි
නෙතු නුඹේ,වත නුඹේ...

විටෙක සිත සසල කර
අහිමි වේ දැයි කියන
බියෙන් මා සිත පෙලුව
නුඹ මගේ,නුඹ මගේ...





Tuesday, December 24, 2013

සිතිවිලි...

තතක් පිරිමැද
මවන'යුරු නුඹ
හිතක් සනසන
ස්වරය නලවා..

තෙරක් නොදැනුන
සිතුම් සයුරක
ඇසක් නොසලා
බලා හිඳි මා..

ඉමක් නොපෙනෙන
පැතුම් අහුරක
හෙටක් සොයමින්
පෙරුම් පුරනා..

ඉඩක් නැතිවෙද
නුඹේ හද තුල
දුකක් හිත යට
අනිනු දැනුනා..


Friday, July 19, 2013

(හිත) පිදුම...

  • පියෙකු සේ ස්නේහයෙන්
    තුරුළු කර ආදරෙන්
    ඉඩ දෙන්න නුඹ රැක ගන්න මට
    සනසා සිත නිවා..


    මවක ලඟ ආදරෙන්
    දැවටෙනා දරුවකු ලෙසින්
    ඉඩ දෙන්න හිත ලඟ ඉන්න මට
    දැවටී හිත වටා..



    ජීවිතේ මාවතේ
    පිය මනින්නට ඉතින්
    ඉඩ දෙන්න නුඹ ලඟ ඉන්න මට
    හැමදා හිත පුරා..